Posts

පුත

ශ්වේත වළා තුරැතර ගවසා  සෙමින මුමුනා රහස් කවි පද තුටිනේ සවන නිදනා දෙනෙත් මත අදිමින් නව සිහින සුරඹුන් ඇවිත් බැලුවද පුතුගේ මුහුණ දෙතොළඟ කිරි සිනහා නැගෙනා විටදී මුවේ පිපිලා සමන් මල් උදයෙම  සිනාසුන‍ේ මදනළ සෙමින්  දුන් හාදුව කොපුල් තලේ සළකුණු වේලා  රැව තවමත් හොඳට පෙනේ  පාවෙන වළා යහනනේ බැස දෑස් විදා නිවි නිවි දිළෙන තරු අතරින් පාද තබා තණ මත රුඳුනු තුෂරයකින් මුහුණ දොවා ආවාද යළිත් නුඹ කවියක පදයක්ම වෙලා 

34 හැවිරිදි ස්වාමියා හෘදයාභාදයකින් මිය යයි

නිමිත්ත 34 හැවිරිදි ස්වාමියා හෘදයාභාදයකින් මිය යයි. හිස තියාගෙන ඉතිං උකුල මැද්දේ උඹ ජීවිතේ හරි බරයි නේද මැණිකේ ඇහුව්වම ඇස් දෙකේ කඳුළු කැට හංගලා හනිකට හිනාවෙනවා මං උඹ ළඟම හින්දම නොක්කාඩුවෙන් මං ගිහින් හිටියම මුල්ලක උඹ ඇවිත් ඉඹින්නේ කිතිකැවෙන මගේ බෙල්ලම පුතු දකින හැම කෙනෙක් නුඹ වගෙයි කිව්වම ආඩම්බරෙන් බලන්නෙම උඹ මගේ ඇස් දෙක උලලේනී හඬනකොට ඊයේ රෑ සද්දෙට තුරුල් වුනේ මං තදින් උඹේ පපුව මැද්දට මා නැති දවස් දෙක තුන වත් ඉන්න බැරී පුත්ගේ හිනා හඬ නසා ඉන්න බැරී සසරේ දුකම දැක දැක ඉවසන්න බැරී නොකියා යන්න හිත හැදුවේ කොහොම හිමි පායා ඇවිත් හිරු දිලුනත් අකාසේ අඳුරින් වැසී ඇත මගේ ලොව හැම දවසේ උණුසුම් පපුව ගල් ගැහුණේ කිම රහසේ මා හැර දමා ගියේ ඇයි දෝ ස්වාමිණේ

නුඹ හට

නෑවිදින් නුඹ සිටින දවසට දෑස් යුග පියාගෙන විදගන්න රඳවා ගන්නම් මම ඉතින් මේ හාදුවල උණුසුම පියාපත් දිගුකර නුඹ පියාඹන දවසට කැදැල්ලේ පාලුවත් මැකෙන්නට හිරකරගන්නම් ආදරණීය හැම වදනකම මතකය දුර ඈත ඉසව්වක   ඉගිලිලා නුඹ ඉතින් යනකොට තිතක් වී බොඳවෙන මා ඉතින් නොපෙනෙනා දවසට දුකක් නැති වෙන්න හිත යට කවක් ලියනෙමි හෙටත් නුඹ හට

මේ හොඳම වේලාවය

ඇහැරෙන්න හොඳම වෙන වේලාවක රහසින්ම කොඳුරන්න බැරිවද නිදියන්නේ නිදිකුම්බා සේරම සිහින්වට කෙඳිරියක් නෑසෙනා තරමට ගැඹුරුයිද ඔය නින්ද හීනයක් නැතුවම කොනිත්තන සිතුවිලිත් බර වැඩියි හිතුනම සිඹින්නෑ මලක්වත් ඇහැරෙනා හින්දම පිනි බිඳිති වැටෙන්නේ හීතලක් දැනෙන්ට හීතලෙන් හිරිවැටී උණූහුමක් හොයන්නට ඇහැරෙන්න නිදිකුම්බා මේ හොඳම වේලාවය

ආද‍රේ තරම

සඳ නැතත් අහසකට තරු නොදිලි තියේවිද දුර වුවත් සයුර විත් වෙරළ සිප නොයාවිද මද පවන් වල වුවත් සුවඳ ගුලි නොවේවිද ආද‍රේ නම් හිතක් තිතක් වී පෙනේවිද

දුක

උඹ ඉතිං අඬනකොට හීනෙනුත් ඉකිබිඳ  බරවෙලා පපුවම ගලනවා  කිරි එක්ක කඳුළුම

හෙව්වේ මම උඹව ද...

Image
ආදරේ එක්කර සතුට එහි පැළ කොට උඹ ආවා මතකද... හිටි ගමන් පෙරළෙන ගැස්සිලා ඉස්සෙන නුඹේ ඔය දඟයට ආසයිලු මං හරියට.. ඉස්සරම දවසක තනිකමක් දැණුනම අහස දෙස බල බල හෙව්වේ මම උඹව ද...

ඒ එදා මැයි දින

Image

මා පුත...

විසල් මේ ගොමු යට සෙවන අයදීමද නපුරක්ය හැමවිට... නර කෙසුත් ඇද ඇද සාදු හඬ පතුරන බොහො දනන් දැක දැක සසර තව දික් කර නොනවතින් මා පුත...

ඔබම වන ඔබ එනතුරා

ප්‍රතිබිම් බ  නොපතමි සෙවනැළිද නොසොයමි ප්‍රතිරූප   මහ හීන උර මතින් නොතබමි මා නොවන ඔහු නොවන ඔබම වන ඔබ එනතුරා  මඟ බලමි දින ගනිමි

ඉහිරුන තිළකේ...

Image

උඩ බලමින් දෙසල්ලා...

දක්කාගෙන ගොන් හරකුන් වෙල මැද්දට හෝයියා... පන්නාගෙන හිවල් මොටයි කැලේ මැදට හෝයියා... උඩින් පැනපු දෙවි බඹුනුත් එකම ගොඩක හෝයියා... රා වෙනුවට බියර් බීපූ අපි ඔක්කොම හෝයියා... එළි වෙනකොට හීන බිඳපු ඇස් අඳ කර දමල්ලා... සැහැල්ලුවෙන් පාවෙනකොට නිරුවත හැඩ බලල්ලා... ගොඩෙන් මඩෙන් කාට උනත් ඩිoග ඩිoග බෙදල්ලා... කැමති කැමති අත ඉදගෙන උඩ බලමින් දෙසල්ලා...

ළඳ..

සඳට පෙම් බැඳ ලියා කවි පද නුරා නෙතඟින්   පලා ගොළු හද... මනාලිය වී   ශ්වේත සළු ඇඳ දෑත් පටලා පලා යන ළඳ... පලා දෙකඩව ළයේ සෙනෙහස... වසා දුහුලින්   නග්න පුර සඳ... මුසා මුව ඇඳි සිනා රැල් බිඳ... උමතු වූ හද මරා යන ළඳ..

මෙය මුලාවක් බව...

සබඳ  පවසන්න පසක් කලේ යැයි නුඹ මට මෙය මුලාවක් බව..... මලක් නොවෙමි දැන් මම උස ගසක් මත සුපුෂ්පිත මිලින වී ගොස් බිමටම ඇද වැටුන මලක් වෙමි දැන් මම පෙතිද එකිනෙක ගිලිහුන එසේමුත් පවසන්න සබඳ මෙය මුලාවක් බව... මා දෙතොල් මත ඇදෙන සිනාවක්  යළි යළිත් දැකිය හැකි නම් නුඹට මම නුඹෙන් අඩක් නොවනා බව ඉතින්  පවසන්න  සබඳ මෙය මුලාවක් බව... උමතු ස්තිර්‍ යක හද මත වියරුවෙන් රටා කල ප්මයේ ගෙත්තම උනා දමා සැනෙකින්ම පවසන්න මට යළි යළිත්  මෙය මුලාවක් බව... ගැහෙන නුඹ පපුව මත දිගා වී පෙරදින සුවඳ සොයමින් හිනැහුන මා දෑස් මතටම එබී බලමින් තව නුඹ ඉතින් පවසන්න මෙය මුලාවක් බව...

සුදුම සුදු එක මලක්

දෙමලිච්චෝ නවත්තාපන් ඉතින් ඔය කිචි බිචිය බලපන් අර වැටගාව ඉද්ද පඳුරේ   කිසිදාක නොඳුටු   පපුව මැද්දට දැනෙන සුවඳින් පිපී ඇත සුදුම සුදු එක මලක්

එකම එක වෘක්ෂයක්

විවිධ වූ රුක් මතින් රිසි වූ බොහෝ සේ අතු ඉති පමණක්ම ගෙනවිත් සවිකරන් විසල් බාහුවකට තනන්ට හැකි නම් එකම එක වෘක්ෂයක් නෙක පැහැයෙන් වුවද පිපේවි මල් හැමකල් පෙම් බදිනු හැකියි එකල්හි බොහෝ කල්

සිත

පලා සත්කඩකට පොළෝ තල ඉකිලන වරා මල් ගුලි කර තලාලමු අතු ඉති මත මලානික හදවත දුර ගොසින් විසිකර පුරා සඳ තනියට තරු එවමු ගෙළ සිඳ විදා නෙත් රතු වුන හඬා කඳුලැල් එම වළාවක මුසුකර තබා එමු ගොළු අහසක

ඈත නිල් අහස

අර පේන කළු වළාකුල සුදු වළාකුල සිදුරුකර බලාපන් හෙමිහිට ඈත  හිස්ම හිස් ඉමක් නැති නිල් අහස

බිය

Image

සිහින මියයාම

පාන්දර වෙනකොට හිරු ඇහැර හනිකට තට්ටු කරමින් කවුළුව ළඟ විරිත්තනවා හොඳටම දෑස් නෑරම නිදිබර හිදිත් සයනය මත සියත් කැළ නද කර කුමට ඔතරම්ම ඔච්චම තප්පරෙන් තප්පර ගෙවෙනකොට කාලය ඔරලෝසු කටු උලෙන් තද කොට අනිනවා මේ පපුව මැද්දට දුටු සිහින සියල්ලම එක්කොට ඇන තබා ඉන්නවා තොටුපොල ලඟ ඔරු පාරු කිසිවක් ද නොයෙනවිට සරණෙට කඳුළු වැල් ඉහිරිලා ඇඬෙනවා එතකොට