Friday, July 27, 2018

නුඹ හට

නෑවිදින් නුඹ සිටින දවසට
දෑස් යුග පියාගෙන විදගන්න
රඳවා ගන්නම් මම ඉතින්
මේ හාදුවල උණුසුම


පියාපත් දිගුකර
නුඹ පියාඹන දවසට
කැදැල්ලේ පාලුවත් මැකෙන්නට
හිරකරගන්නම්
ආදරණීය හැම වදනකම මතකය

දුර ඈත ඉසව්වක 
ඉගිලිලා නුඹ ඉතින් යනකොට
තිතක් වී බොඳවෙන
මා ඉතින් නොපෙනෙනා දවසට
දුකක් නැති වෙන්න හිත යට
කවක් ලියනෙමි හෙටත් නුඹ හට

Monday, November 6, 2017

මේ හොඳම වේලාවය

ඇහැරෙන්න හොඳම වෙන වේලාවක
රහසින්ම කොඳුරන්න බැරිවද
නිදියන්නේ නිදිකුම්බා සේරම
සිහින්වට කෙඳිරියක් නෑසෙනා තරමට
ගැඹුරුයිද ඔය නින්ද හීනයක් නැතුවම
කොනිත්තන සිතුවිලිත් බර වැඩියි හිතුනම
සිඹින්නෑ මලක්වත් ඇහැරෙනා හින්දම
පිනි බිඳිති වැටෙන්නේ හීතලක් දැනෙන්ට
හීතලෙන් හිරිවැටී උණූහුමක් හොයන්නට
ඇහැරෙන්න නිදිකුම්බා
මේ හොඳම වේලාවය

Monday, October 24, 2016

ආද‍රේ තරම

සඳ නැතත් අහසකට
තරු නොදිලි තියේවිද

දුර වුවත් සයුර විත්
වෙරළ සිප නොයාවිද

මද පවන් වල වුවත්
සුවඳ ගුලි නොවේවිද

ආද‍රේ නම් හිතක්
තිතක් වී පෙනේවිද

Saturday, October 8, 2016

දුක

උඹ ඉතිං
අඬනකොට
හීනෙනුත් ඉකිබිඳ 
බරවෙලා පපුවම
ගලනවා 
කිරි එක්ක කඳුළුම

Saturday, July 16, 2016

හෙව්වේ මම උඹව ද...

ආදරේ එක්කර
සතුට එහි පැළ කොට
උඹ ආවා මතකද...


හිටි ගමන්
පෙරළෙන
ගැස්සිලා ඉස්සෙන
නුඹේ ඔය දඟයට
ආසයිලු මං හරියට..


ඉස්සරම දවසක
තනිකමක් දැණුනම
අහස දෙස බල බල
හෙව්වේ මම උඹව ද...


Friday, March 18, 2016

මා පුත...

විසල් මේ ගොමු යට
සෙවන අයදීමද
නපුරක්ය හැමවිට...
නර කෙසුත් ඇද ඇද
සාදු හඬ පතුරන
බොහො දනන් දැක දැක
සසර තව දික් කර
නොනවතින් මා පුත...