Thursday, January 19, 2012

පාටක් දෙන්න


සඳට මුකුළුපාලා
ඉරට විරිත්තන
නුඹට පුළුවන්ද
තරුවක් වෙලාවත්
තිත්තම තිත්ත
කළුවරට
පාටක් දෙන්න

Friday, January 13, 2012

ශිල්ප සිඟා කන අපේ මහෞෂධවරු .....

මේක ලෝකේ ලස්සන රටක්. අපි ඇත්තටම මේ රටට ගොඩාක් ආදරෙයි.අපේ රටේ අපේ දේවල් අපිට හැමදාම වටිනවා.කාලයක් බයෙන් දුකෙන් හිටපු කාලේ නැති වෙලා යුද්දේ අවසන් වුනාම හිතට දැනුනේ ලොකු සැනසීමක්. අවසාන ඵල විපාක මොනා වුනත් බෝම්බ පිපිරෙන්නැති බයක් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන් වුන එකට අපිට ඇත්තටම සතුටුයි.
      සුළඟක් වගේ ඉගිල්ලිලා යන්න පුළුවන් අධිවේගී මාර්ගයක යන්න අපි අකමැති නෑ. නෙළුම් පොකුණේ අර සුව පහසු අසුනක වාඩි වෙලා ඉහළ පහළ යන වේදිකාවේ අග්නි වගේ ඔපෙරාවක් බලන්න අපි අකමැති නෑ. ගුවන් පාලම් හදනවට, අලුත් මාර්ග හදනවට, ක්‍රිඩා පිට්ටනි හදනවට, වරායවල් හදනවට අපි අකමැති නෑ. ඒවා හදන්න ලෝකෙට ණය වුනාට ඒ ණය ගෙවන්න අපිට පුළුවන් උපරිම සේවයක් කරන්න අපි ලෑස්තියි.
  ඒත්....
අපි අවසානයේ රටට වෛර කරන පිරිසක් වෙන්න කැමති නෑ."ජාතිය රන් විමනක් වේ, ආගම මිණි පහනක් වේ,එය රැක ගන්නට මෙළොවේ සමත් වුනොත් පුත නුඹ වේ" කියලා පොඩි කාළේ ඉදලම අහලා තිබුණු නිසාද මන්දා මේ රටට වෛර කරන්න අපි කැමති නෑ.
   ජීවිතේ ඉල්ලලා කෑ ගහන මිනිහෙකුට ජීවිතේ බේරලා දෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න මිසක් මිණිමරුවෝ වෙන්න අපිට බෑ.අම්මා පුන්චි කාලේ ඉදන්ම මුනේ තියෙනවා කියපු පින් පාට නැති කරගෙන මැර පාටක් ලබා ගන්න අපි කැමති නෑ.
    අම්මයි තාත්තයි නොවිදිනා දුක් විඳලා අපිට ඉගැන්නුවා. දහසකුත් මිහිරි හැඟිම් හිත අස්සේ තද කරගෙන අපි දුක් විඳලා ඉගෙන ගත්තේ "ඉගෙනුම කටු අත්තකි. එහි ඵලය මල් අත්තකි " කියල හිතාගෙන.
  2005 උසස් පෙළ කරලා එක්කෙනෙක් B 2 යි C 1යි අරගෙන රුහුණු වෛද්‍ය පීඨයට තේරුනාම A 1යි B 2ක් ගත්තු කෙනා තෙරුනේ රජරට අලුතෙන් හදපු වෛද්‍ය විද්‍යාලයට. කාගෙන්දෝ සිද්ද වුන වැරැද්දකට අපිට වන්දි ගෙවන්න වුනා.ඇති වුන තුවාලයක් සුව කරන්න කියලා තාවකාලික පැලැස්තර අලවපු පාලක උදවිය නිසා අපි කොච්චර අසරණ වේලාද?
  උගුර ලේ රහ වෙනකම් රජයට විරුද්ධව උද්ඝෝෂන කරලා, ගහ මරා ගෙන කැම්පස් එකෙන් එළියට ආවම රජයේ ක්‍රියාකාරි සාමජිකයෙක් වෙන්න අපිට ඕනේ වුනේ නෑ.තමන් කරන්න ඕනේ වැඩේ පැත්තකට දාලා පක්ෂ වෙනුවෙන් නැගී ඉදලා ගහ මරා ගෙන අපි පාරට බැස්සේ නෑ.
     අනිත් වෛද්‍ය විද්‍යාලවල සිසුන් සැප පහසු කාමරවල ඉගෙන ගද්දි අපිට වුනේ අත්හැරලා දාපු ගුරු විද්‍යාලයක අපේ ඉගනීම අරඹන්න.පේපර්වල ප්‍රශ්න, ලෙක්චර්ලගේ අඩු පාඩු, කෑම බීම , ඉඳුම් හිටුම් මෙවිදියට කොච්චර ප්‍රශ්න වලට අපි මුණ දුන්නද...
  එත් අපි අපේ රටට වෛර කලේ නෑ...ඒ වුනාට අපිට සිද්ද වුනා අපේ අධ්‍යාපනය කරගෙන යන්න  ඔනේ දෙවල් බලෙන් කෑ ගහල ඉල්ල ගන්න. කැම්පස් ඒකේ තුන්  වෙනි අවුරුද්දේ ඉදන් අපි වෙහෙසුනේ මේ මහාචාර්‍ය් ඒකකය හදවා ගන්න. අපි අවුරු ගානක් ඉගෙන ගත්තු දෙය ප්‍රයෝගිකව හදාරන්න අන්තිමට අපිට මේක ඔනේ වෙනවා. අපිත් එක්ක උ/පෙළ කරල අනිත් කැම්පස් වලට ගිය ළමයි ගේ අද තත්වෙයි අපේ තත්වෙයි දැක්කම ඇතිවෙන්නේ දුකක්ද කළකිරිමක් ද එහෙම නැත්තම් වෛරයක් ද මන්දා...
    මහාචාර්ය ඒකකය හදවන්න ඉඩමක් ලබා ගන්න තැන ඉදලා ඒක හදලා අද තත්වෙට එනකම් අපට සිද්ද වුනේ ඒවා එකින් එක ඉල්ලලා පාරට බහින්න. ඒත් අවසානයේ අයේත් අපි ලොකු ප්‍රශ්නෙක හිර වුනා. මෙච්චරකල් අපේම අධ්‍යාපනය වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය කැප කරපු අපේම එවුන් මහ ලොකු වැරදි කාරයෝ උනා.
   අවුරුදු පහෙන් කැම්පස් අවුට් වේලා රටට සේවයක් කරන  දොස්තරලා වෙන්න හිටපු අපි අද ඉඳලා අවුරුදු 6ක්  දුක් විදලා රටට වෛර කරන්න තරම් හිත දැඩි වේලා.
      ලෙඩ ඇඳේ ඉන්න අම්මා අවසාන හුස්ම ටික තද කරන් ඉන්නේ දුව දොස්තර විභාගේ පාස් වෙලා දොස්තර වරියක් වේලා ගෙදර එනකම්, පුතාව විශ්ව විද්‍යාලේ යවන්න ඉඩම උගස් කරපු තාත්තා බලන් ඉන්නේ පුතා දොස්තර වෙලා ගෙදර ඇවිල්ලා පවුලේ බර කරට ගන්නකම්. එත් අම්මේ තාත්තේ අපි තාමත් මහ පාරේ ශිල්ප හිඟා කනවා.
     අම්මා කීව විදියට පින්වත් දරුවෝ කියලා හිතපු අපි මෙච්චර කරුමක්කාරයෝ වුනේ කොහොමද? පාසලට නෑදෑයොන්ට වටිනා කෙනෙක් කියපු අපිව වෛද්‍යවරු විදියට රටට නොවටින්නේ කොහොමද? අපේ රටේ ඈත ගම්වල දුක් විඳින මිනිස්සුන්ට සේවයක් කරලා රටට බරක් නැතුව නිදහසේ මැරෙන්න අපිට අයිතියක් නැද්ද? අපේ රටේ හැම රෝහලකම ඇති තරමට වෛද්‍යාවරු ඉන්නවද?
  කොහොම වුනත් අවසානයේ සිද්ද වෙන්නේ අපි අපේ රටට වෛර කරන උගත්තු පිරිසක් විදියට රටෙන් පිට වෙලා යන එක හරි නිකම්ම නිකන් බඩගෝස්තර වාදින් පිරිසක් විමත් විතරයි...


රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිදුවූ අසාධාරණයෙන් පීඩා විදින සොහොයුරියගේ අද්දැකීමක් අසා ලියන ලද්දකි

Sunday, January 1, 2012

සුභ සිහින

අර ඈත නිල් අහස
පාට කර හිනැහෙන්න
ගනදුරට මඟ කියන
තරුවක්ව පායන්න

දුහුල් මල් පෙති වලට
නොරිදෙන්න සිප ගන්න
ඒ සුවඳ තවරාන
මලක් වී සුපිපෙන්න

පිණි බින්දු පොද ඉහෙන
සීතලක ගුලි වෙන්න
උදා වෙන හෙට දකින
සුභ සිහින වී එන්න